Sunday, September 27, 2015

මදැයි වාහනයක් ගන්න බලන් හිටියා.... මේකද යකෝ යහපාලනේ.....??? ලීසිං ගන්න කලින්

මේ දවස්වල විහිළුවට හරි නිතර ඇහෙන කථාවක් නිසා මතක් වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුණා...

අපි කාගෙත් හීන අතර තියෙන ප්‍රධාන හීනයක් තමයි වාහනයක් ගන්න එක. අතේ තියෙන සල්ලි වලින් හිතේ තියෙන වාහනේ ගේන්න පුළුවන් එහෙමත් කෙනෙකුට නේ... ඉතින් අපේ කට්ටිය මේ හීනේ හැබෑකර ගන්න වටේම තියෙන බැංකු , finance company වලට ගිහින් customer contribution  එක විදියට අඩුවෙන්ම දාන්න කියන තැනයි ඒ එක්කම අඩුම වාරිකයි කියන තැනට ගිහින් ලීස් එකක් අරන් වාහන හීනේ හැබෑ කර ගන්න උත්සාහ කරනවා.

ඇත්තෙන්ම අපි ලෝන් එකක් හරි ලීස් එකක් හරි ගන්න කොට බලන්නේ අඩුම වාරිකයයි අතට වැඩිම ගාන දෙන තැනයි තමයි...ඒත් අපි ඒ වෙලාව්දී අපට උදව් වෙනවා කියල හිතන් ඒ පහසුකම අපි ලබා ගන්න ආයතනය නිසා සමහර වෙලාවට අමාරැවේ වැටෙන අයත් අපි අතර ඉන්නවා.

ලීසිං ගැන කියනකොට ඇහිච්ච ප්‍රසිද්ධ වචනයක් තමයි Full Lease කියන්නේ.පහුගිය කාලේ රැ.50000.00 ක් දීලා ලීස් එකක් දාලා වාහනයක් ගෙදර ගෙනියන්න පුළුවනකම තිබුණා. ගොඩක් Full Lease කරේ මූල්‍ය සමාගම්(Finance Company). පහුගිය දවස්වල මහ බැංකුව පනවපු නීතියක්  (වාහනයකට Advance කරන්න පුළුවන් උපරිම ණය සිමාව 70%) හන්දා Full Lease නතර කරන්න මූල්‍ය සමාගම් වලට සිදු වුණා.

ලීස් වලට අයකරන පොලී අනුපාතය , වාරිකය ටිකක් වැඩි උණත් කට්ටිය බැංකු වලට යනවට වඩා මූල්‍ය සමාගම් වලට යන්න කැමතියි. මොකද බැංකුවල වල තියෙන කොන්දේසි වලට සාපේක්ෂව ඒ ආයතන වල තියෙන ලිහිල් කොන්දේසි නිසා. බැංකුවක් ඒ පහසුකම අදාල පුද්ගලයාට දෙන්නේ ඒ වාරිකය ඔහුගේ ආදායමට අනුව ඔහුගේ අනිත් අවශ්‍යතාත් සම්පූර්ණ කරන් ගෙවාගෙන යන්න පුළුවන්ද බලලා. ඒ වගේම "ඔයාගේ නම ඇපයක් ගහපු එකකට CRIB  එකේ තියෙනවා. ඒක අයින් කරන් ලියුමක් අරන් එන්න'', ''ඔයාගේ ආදායමේ හැටියට වාරිකය ගෙවාගන්න බැරි වෙයි'' වගේ කතන්දරත් බැංකු වලට ගියහම අහන්න වෙනවා. සමහර වෙලාවට වැඩේ කෙරෙන්නේ නෑ.

නමුත් මූල්‍ය ආයතන වලට යන අයට එහෙම කතන්දර අහන්න වෙනවා අඩුයි. කොහොම හරි වැඩෙත් කෙරෙනවා. ලීස් ගනිද්දි අපේ කට්ටිය එච්චර හිතන්නේ නැති දෙයක් තමා වාහනේට තෙල් ගහන්න‍, බදු ගෙවන්න, රක්ෂණ වාරික ගෙවන්න, වාහනය නඩත්තු කටයුතු කරන්නත් ගත්ත වාහනේ වාරිකය ගෙවන ගමන් සිදු වෙනවා කියල. සමහර වෙලාවට අපට ඒ අවස්ථාවේදී හිතෙන්න පුළුවන් ඒ වාරික මුදල කරදරයක් නැතිව ගෙවා ගන්න පුළුවන් වෙයි කියල ආදායමෙන් කොච්චර  ප්‍රමාණයක් උණත් .

ඒ වගේම සමහර ආයතන (මේකට නම් සමහර බැංකුත් ඇතුලත්) ගනුදෙනුකරැවන් නොමග යවන වාරික හදලා කියනවා.ඒ කියන්නේ ලීස් එකට  හැංගුණ වාරිකයක් (bulk payment) එකක් එකතු කරනවා. එතකොට සිදු වෙන්නේ සාමාන්‍ය වාරිකය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙන එක. නමුත් අර bulk payment එන වාරිකය සාමාන්‍ය වාරිකය වගේ හාර පස් ගුණයක් වැඩියෙන් එක පාර ගෙවන්න ඕන. සමහර වෙලාවට ඊටත් වඩා වැඩියි. මේ වාරික ඔවුන් බොහෝ වෙලාවට ලීස් එකේ සෑහෙන ප්‍රමාණයක් ගෙවුණට පස්සේ එකතු වෙන්නයි හදන්නේ. මොකද බැරි වෙලාවත් ඔය වාරිකය ගෙවා ගන්න නොහැකි වුණොත් අපි ලීස් එකේ සැහෙන ප්‍රමාණයක් ඒ වෙනකොට ගෙවලා තියෙන හන්දා අපිට කොහොම හරි ඒ වාරිකය ගෙවලා වාහනේ බේර ගන්න වෙනවා. අපි ඒ වෙනකොට ලීස් එකේ ගෙවලා තියෙන ප්‍රමාණය හන්දා මූල්‍ය ආයතනය පැත්තට එන අවදානම අඩුයි. ඔවුන් ලීස් එක අයකර ගන්න යන ඊළග පියවරේදී මේ හේතුව හන්දා අපි ඇත්තටම හිර වෙනවා. මොකද මෙච්චර ගෙවලා අපිට වාහනය අත් අරින්න බෑ නේ...

මූල්‍ය සමාගම් බොහෝ වෙලාවට බලන්නේ තමන්ගේ ව්‍යාපාර වැඩි කරගන්නයි. ගනුදෙනුකරැගේ පැත්තට ඒ නිසා වෙන්න පුළුවන් අවධානම ගැන සලකනවා අඩුයි. මොකද ඔවුන්ට යම් අවධානමක් ඇතිවුනොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ඊළග පියවර වන seize කිරීම ( වාහනය උස්සන එක) පහසුවෙන් කරන්න ඔවුන් පසුඹට වෙන්නේ නෑ. සමහර මූල්‍ය ආයතන වලින් වාරික මුදල් අතපසු වුණ අවස්ථාවල කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව seize කරපු  අවස්ථාත් අහන්න ලැබිල තියෙණවා. මූල්‍ය ආයතනවලට සාපේක්ෂව බැංකුවල මේ සිදුවීම අඩුයි. ඔවුන් ගනුදෙනුකරැවාගේ පැත්තෙන් බලලා ඔහුගේ ගැටළුව සාධාරණ හේතුවක් නම් බැංකුව පැත්තෙන් දෙන්න පුළුවන් විකල්ප සහනයක් දීපු අවස්ථා තියෙනවා. මුල්‍ය ආයතනවලත් මේ පියවර අනුගමනය කරන අය නැතුව නෙවේ. සාපේක්ෂව අඩුයි.

මේ ලිපිය ලියන්න හිතුවේ ලීස් ගන්න හිතන් ඉන්න අයට මේ කරැණු දැන ගන්න එක උදව්වක් වෙයි කියලා. අඩුම වාරිකය කියන, දාන්න ඕන අඩුම ගාණ කියන, අඩුවෙන් ලියවිලි ඉල්ලන තැන විතරක් බලලා මදි. අපේ ජීවිතයේ එන අනපේක්ෂිත සිදුවීම් නිසා අපට එන්න පුළුවන් මූල්‍යමය ගැටළු වලදී අපට සහනයක් දෙන්න ඉදිරිපත් වෙයි කියලා හිතෙන තැනකින් අපේ හීනෙට උදව්වක් ගන්නව නම් හීනේ හැබෑ වෙච්ච වෙලාවේ තිබුණ සතුට ලීස් එක ගෙවලා ඉවර වෙන කල් තියෙයි.